Best V Care Animal Hospital | Trusted Vet Clinic in Wariyapola, Sri Lanka

Paracetamol :Dangerous to pets

බොහෝ වෙලාවට අපට ඇතිවන හිසේ කැක්කුමකට, ඇඟපතේ වේදනාවකට පැනඩෝල් / පැරසිටමෝල් (acetaminophen) ලබා ගැනීම සමාන්‍ය දෙයක්.එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ලබාගත හැකි ඖෂධයක් නිසා මෙය වෙළඳපොළේ බහුලව භාවිතා වන වේදනා නාශකයක් ලෙස හැඳින්විය හැකිය.

නමුත් පොදුවේ බොහෝ සුරතල් සතුන් හිමියන් සිදු කරන වැරැද්දක් වනුයේ මිනිසාට ලබාගත හැකි ඖෂධ සුරතලාට ලබා දීම. මෙය සුරතලාගේ ජීවිතය අනතුරක් විය හැකි භයානක ක්‍රියාවකි. නිදසුනක් ලෙස බොහෝ සුරතල් සතුන් හිමියන් සුරතලාට ඇතිවන යම් යම් රෝගී තත්ත්වයන්වල දී නිවසේ සිටම ප්‍රතිකාර ලබාදීමක් සිදු කරන අතර බොහෝ පිරිස් සිය සුරතලාට පැනඩෝල් / පැරසිටමෝල් ලබාදීම සිදු කරයි.

සුනඛයන්ට පැනඩෝල් / පැරසිටමෝල් ලබාදිය හැකි නමුත් එයට සුදුසු මාත්‍රාවක් ඇත. එනම් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15ක ප්‍රමාණයකි.නමුත් වෙළඳපොලෙහි ඇති සාමාන්‍ය පැනඩෝල් පෙත්තක මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක් අන්තර්ගත වේ. නිදසුනක් ලෙස කිලෝ 10ක සාමාන්‍ය බරක් ඇති සුරතලෙකුට පැනඩෝල් / පැරසිටමෝල් පෙති දෙකක් ලබා දීමෙන් මිලිග්‍රෑම් 1000ක් ප්‍රමාණයක අධි මාත්‍රාවක් සුරතලාගේ ශරීරගත වේ. නමුත් ලබාදිය යුතු ප්‍රමාණය වනුයේ මිලිග්‍රෑම් 150ක ප්‍රමාණයකි.

මෙසේ අධි ඖෂධ මාත්‍රාවක් ශරීරගත වීමෙන් සුරතලාගේ අක්මාවට දැඩි හානි සිදු වන අතරම සංකූලතා වැඩි වීමක් ද සිදු වේ. සුනඛයන්ට යම්කිසි ප්‍රමාණයක පැනඩෝල්/ පැරසිටමෝල් ප්‍රමාණයක් ලබාදිය හැකි නමුත් බළලුන්ට එය සුළු ප්‍රමාණයක් හෝ ලබාදීම සුරතලාව මරණයට පවා පත් කරන්නකි. එය එතරම් විෂ සහිත වේ.

තවද උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. එනම් සුරතලාට ඇති යම්කිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කරනුයේ උණ මගිනි.

එම නිසා ඔබේ සුරතලාට යම්කිසි රෝගී තත්ත්වයක්, උණ තත්ත්වයක් ඇති නම් වහාම පළපුරුදු පශුවෛද්‍යරයකු ලවා ඖෂධ ලබාගැනීම සිදු කළ යුතු අතර ඒ වෙනුවට නිවසේ දී ඔබ භාවිතා කරන බෙහෙත් වර්ග , විශේෂයෙන් පැනඩෝල් / පැරසිටමෝල් යනාදිය ලබාදීමෙන් වළකින්න.

පශුවෛද්‍ය කේළිය දිසානායක

10 Comments

Leave a Reply

Your email address will not be published.